පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

බවුන් වඩනට සොඳුරු පිං බිම 



සම්බුද්ධ පරිනිර්වානයෙන් 2500 පිරීම නිමිතිකර මේ ශ්‍රී ලංකා ද්වීපයේ ඇතිවූ ආගමික ප්‍රබෝධයෝ බොහෝ වෙති.
බුද්ධ ජයන්තිය නිමිත්තෙන් අපට ලැබුණ මාහැඟි වූ දායාදයකි කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානය. 1955 ජුලි මස 28 වැනි දින භාවනා මධ්‍යස්‌ථානයේ කටයුතු ආරම්භ කිරීමේ ශ්‍රේෂ්ඨ අවස්‌ථාවට චිර ප්‍රසිද්ධ අග්ගමහාපණ්‌ඩිත ප්‍රධාන කර්මාස්‌ථානාචාර්ය මහා සීසයාඩො මාහිමි, හදන්ත ඌ සුජාත මාහිමි, හදන්ත ඌ ජවන මාහිමි, හදන්ත ඌ උත්තරාභිවංශ මාහිමි යන කර්මස්‌ථානාචාර්යන් වහන්සේ බුරුම රටින් (වර්තමාන මියන්මාර් දේශය) මේ රටට වැඩම කළ අතර කහටපිටියේ සිරි සුමතිපාල මහ තෙරණුවෝ මේ පිළිබඳ සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කළහ. මෙම සම්භාවනීය භික්‍ෂු පිරිස 1955 අගෝස්‌තු මස 3 වැනිදා මත්තේගොඩවත්තේ භාවනා මධ්‍යස්‌ථානයට වැඩම කොට භික්‍ෂුන් වහන්සේ 6 නමකින් හා උපාසක උපාසිකාවන් කිහිප දෙනකුද සම්බන්ධ කර භාවනා කටයුතු ආරම්භ කර ඇත.
යෝගීන් 70 කට පමණ භාවනා කිරීමේ පහසුකම් ඇතිව 1956 ජනවාරි 8 වැනිදා මහාෂි සයාඩො හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය කම්මට්‌ඨානාචාර්ය ඌ සුජාත ස්‌වාමීන්වහන්සේ පොල්තෙල් පහනක්‌ දක්‌වා විදර්ශනාලෝකය කඳුබොඩ භාවනා මධ්‍යස්‌ථානයෙන් පතුරුවා හැරීම ආරම්භ කළහ. මෙම උත්සවයට ලංකා විපස්‌සනා භාවනා සමිතියේ සභාපතිනි සිරිමා ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු සමිතියේ සාමාජික පිරිසක්‌ සහභාගි වී තිබේ. භාවනා මධ්‍යස්‌ථානයේ අධිපතිධුරයට පත්වූයේ ආරම්භයේ සිටම මේ කටයුතු සම්බන්ධීකරණය කළ කම්මට්‌ඨානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල මාහිමිපාණන්ය.
කහටපිටියේ සිරි සුමතිපාල මාහිමියන් 1982 වර්ෂයේදී අපවත්වීමෙන් අනතුරුව මධ්‍යස්‌ථානාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද හිමිපාණන් මෙම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානයේ වර්තමාන දියුණුවට කටයුතු කළහ.
2010 පොසොන් මස 26 වැනි දින විවෘත කරන ලද කහටපිටියේ ශ්‍රී සුමතිපාල මාහිමි අනුස්‌මරණ ධර්ම ශ්‍රවණාගාරය මෙම ස්‌ථානයට භාවනා කටයුතු සඳහා සහභාගි වන අයගේ පහසුවට හේතුවිය. මේ වන විට අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්‌ථානයකි. භික්‍ෂු කුටි, සක්‌මන් මළු, බෝධීන් වහන්සේ, වෙහෙර විහාරයේ බුදු මැඳුරු, ආවාස ගෙවල්, මුළුතැන් ගෙය, ස්‌ත්‍රී පුරුෂ යෝගීන් 50 දෙනකුට පමණ පහසුකම් සහිත් කුටිගෙවල්, දානශාලා, ජල විදුලි පහසුව, දුරකථන පහසුකම් ඇත. වාර්ෂික දානමාන ලබාදීමට දිවයිනේ නන්දෙසින් බැතිමතුන් පැමිණේ. බොහෝ දිනයන්හි දහස්‌ ගණනින් සිල් සමාදන් වේ. අවශ්‍ය පහසුකම් ඇතත් බැහැරින් එන විශාල ජනසහභාගිත්වයක්‌ ඇති පෙහෙවස්‌ සමාදන්වන අයට සනීපාරක්‍ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය දින අපට දැකගත හැකිවිය.
"දිවයින"ට අදහස්‌ දැක්‌වූ මෙම භාවනා මධ්‍යස්‌ථානයේ කාත්‍යාධිකාරි කර්මස්‌ථානාචාර්ය ශාස්‌ත්‍රවේදී දියසෙන්පුර විමල ස්‌වාමීන්වහන්සේ මෙසේ කීහ. 2005 සිට මේ ස්‌ථානයේ කටයුතු ගැන මට හොඳ අවබෝධයක්‌ තියෙනවා. ලක්‍ෂ සංඛ්‍යාත දෙස්‌ විදෙස්‌ පිරිසක්‌ මෙහි භාවනා කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවා. අද මේ ලෝක ජනතාව හමුවේ ඇති ප්‍රශ්න ගැටලු නිරාකරණයට භාවනාවෙන් ලද හැකි විපුල ප්‍රයෝජන ගැන අපට අත්දැකීම් තියෙනවා. භෞතික අතින් ලෝකය කොතරම් දියුණු වුනත් මිනිසා අධ්‍යාත්මිකව දියුණු නොමැති නම් වැඩක්‌ නැහැ. ජපානය තෙරම් දියුණු වුණාද අද එක පළාතකට මොකද වී තියෙන්නේ. මිනිසාගේ සිත දියුණු කිරීම කාල සටහනකට අනුව මෙම භාවනා මධ්‍යස්‌ථානයෙන් කෙරෙනවා. උදේ 4.00 සිට රාත්‍රි 10.00 වනතෙක්‌ මෙහි ආගමික කටයුතු සිදු කෙරෙනවා. භාවනා වත්පිළිවෙත්, සක්‌මන් භාවනා, භාවනා කර්මස්‌ථාන ලබාදීම, 365 දවසේම සිදු කෙරෙනවා. නේවාසික ස්‌වාමීන්වහන්සේ, දසසිල් මෑණියෝ, කාන්තා පිරිමි යෝගාවචර පිරිස්‌ (දෙස්‌ විදෙස්‌) සහභාගි වෙනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. විශේෂයෙන් ගිහිපිරිස්‌ මේ ස්‌ථානයට ඇතුළු වී කරදර කරන්නේ නැහැ. කාන්තා අංශවලට යැමට හැක්‌කේ දානය රැගෙන කාන්තාවන්ට පමණයි.අතිශයින්ම සුන්දර පරිසරයක අක්‌කර දහයක පමණ භූමියක විශේෂයෙන් නාගරික ලක්‍ෂණ ඇති ප්‍රදේශයක ඇති මෙම භාවනා මධ්‍යස්‌ථානයේ කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහයද ඉහළින්ම ලැබී ඇත. මැති ඇමැතිවරුද මෙහි පැමිණ භාවනා කර සිත් පහන් කර ගනිති.


භාවනා මධ්‍යස්‌ථානයේ කෘත්‍යාධිකාරි කර්මස්‌ථානාචාර්ය ශාස්‌ත්‍රවේදී 
දියසෙන්පුර විමල හිමි

Address: Kanduboda Siyane International 
Insight Meditation Center, 
Kanduboda, Delgoda, Sri Lanka.
Tel: (+94) 11 240 2306, (+94) 11 493 1808
Email: siyanevipassana@yahoo.com

අක්‌මීමන - කේ. මතිලාල්, පෝද්දල විශේෂ - කේ. යූ. ජී. සෝමපාල
2012 මාර්තු 26 සඳුදා දිවයින



කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය සහ කහටපිටියේ සුමතිපාල අනු නා හිමි

මෙයට වර්ෂ 52 කට පෙර එනම් 1956 වසර සියලු බෞද්ධ රටවලට අතිශය වැදගත් වර්ෂයක් විය. එයට හේතුව සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2500 සපිරීමේ බුද්ධ ජයන්තිය එළඹීමයි. සමස්ත ලෝකවාසී 50 කෝටියකට අධික බෞද්ධ ජනතාව 1956 වෙසක් පොහෝ දිනය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික උත්සව, ප්‍රතිපත්ති පූජාමය වැඩසටහන් බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට හේතුවන නොයෙකුත් කටයුතු දීර්ඝ කාලීනව සැළසුම් කරන්නට විය. මේ අතරින් බුරුම දේශයේ (නූතන මියන්මාරයේ) ගිහි පැවිදි බෞද්ධ නායකයන් ත්‍රිපිටක සංගායනාවක් සැළසුම් කළ අතර, විශේෂයෙන් ථේරවාදි බෞද්ධ රටවලින් පර්යාප්තිධර බහුශ්‍රැත මහා තෙරුවරුන් වැඩමවාගෙන ඒ අතරින් 2600 ක පමණ මහා තෙරවරුන්ගෙන් සමන්විත භික්‍ෂු මණ්ඩලයක් සංගායනාව සඳහා තෝරා ගත්හ . (මෙය ආරම්භ කළේ බුද්ධ ජයන්තියට වර්ෂයකට පෙරාතුවය.) උන්වහන්සේලා සඳහා ලැගුම්හල්, දානශාලා, පොහෝය සීමා ඇතුළු සියලු පහසුකම් වර්ෂයකට පමණ ප්‍රමාණවත් සේ සැළසුම් කරන ලදහ. තුන් පිටකය පිළිබඳ වෙන් වශයෙන් ඒ සඳහා මනා පරිචයක් ඇති මහා තෙරවරුන් මගින් අශුද්ධස්ථාන විමසමින් මාස ගණනක් ත්‍රිපිටකය ශෝධනය කරන අතර එහි වැදගත් ස්ථාන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටකධර මහාෂී සයාඩෝ, මහාරට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත වැනි මහාතෙරපාණන් වහන්ස්ලාය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්ව ඇත්තේ මෙම සංගායනවේදී ලාංකික භික්‍ෂූන් වහන්සේලාට සුවිශේෂී ස්ථානයක් හිමිවීමය. එයට ප්‍රධාන හේතුව උන්වහන්සේලාගේ පර්යාප්ති දැනුම සහ පාලි භාෂාව පිළිබඳ දැනුම ඉතා උච්චස්ථානයක පැවතීමයි. මෙම ධර්ම සංගායනාවේදී තෙවැනි වර කියවා ශුද්ධියට පත් කළ ධර්ම ග්‍රන්ථ සංගායනා භූමියේම පිහිටුවන ලද මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවන ලදහ.
අප රටේ වැඩ විසූ ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේ කීප නමක්ම මේ සඳහා සහභාගී වූ අතර ඒ අතරින් අභිධජ මහා රට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමි ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධ දත්ත මහා නාහිමි, අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංශ නාහිමි වැනි වියත් තෙරවරුන් වේ. මෙම සංගායනා භූමිය පුරා ඇති ගොඩනැගිලි රාශිය නූතනයෙහි භික්‍ෂු විශ්ව විද්‍යාලයක් ලෙසද, සංගායනාව උදෙසා ඉදිකළ අති චමත්කාර මහා ගුහාවක් සෙයින් ඈතට දිස්වන සියලු පහසුකම්වලින් සමන්විත සුවිසල් ශාලාව මහා පාෂාණ ගුහා නමින් ව්‍යවහාර වන අතර, (කබා - යෝ) රැන්ගුන් අගනුවර පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ උත්සව ගෞරවනාම පිරිනැමීම සිදු කරනුයේ මෙහිදීය.
මෙයට සියවසකට පමණ පෙර මණ්ඩලේ රාජධානියෙහි මෙන්ඩූන් මහා රජතුමාගේ දායකත්වයෙන් මෙබඳුම ත්‍රිපිටක ශෝධනයක් කොට ත්‍රිපිටක ධර්මය කිරිගරුඬ පුවරුවල ලේඛණගත කිරීමේ අති උදාර ශාසනික කර්තව්‍යයක් සිදුකළ අතර එය පස්වැනි ධර්ම සංගායනාව වශයෙන් ද හැඳින්වේ. බුද්ධ වර්ෂ 2500 හි ඌනු අගමැතිතුමාගේ අනුග්‍රාහකත්වයෙන් සහ ශාසනුග්ගහා සමිතියෙහි දායකත්වයෙන් සිදුකළ මෙම ත්‍රිපිටක සංගායනාව ඡට්ඨ සංගායනාව නමින්ද හැඳින්වේ. මේ නිසා බුරුම දේශය හා එරටාවාසී බොදු ජනතාව සෙසු බෞද්ධ රටවල් අතර අතිශය ගෞරවයට සම්භාවනාවට පාත්‍රවිය.
බුරුම රටින් මෙරටට ලැබුණු වටිනා දායාදයකි. ප්‍රායෝගික සතර සතිපට්ඨාන භාවන ක්‍රමය
මෙයට සියවස් කීපයකට පෙර මෙරට පැවති ප්‍රායෝගික සතර සතිපට්ඨාන වැඩීමේ ක්‍රමය ක්‍රමයෙන් අභාවයට ගොස් 2500 බුද්ධ ජයන්තිය වන විට සතිපට්ඨාන භාවනා වැඩීම සජ්ඣානාවට, පොත කියවීමට සීමා වී තිබුණි. ඒ වන විට මෙරටින් බුරුම රටට ගෙනගොස් තිබූ සතිපට්ඨාන භාවනා ක්‍රමය එරට වනගත භික්‍ෂූන් වහන්සේ අතර පැවතුණි. ඒ අතරින් ද ලේඩී සයාඩෝ , වේබූ සයාඩෝ මහාෂී සයාඩෝ වැනි උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ භාවනා පරපුරක ආය¸යන් වහන්සේලා සේ සැළකේ. 2500 බුද්ධ ජයන්තිය වන විට ප්‍රායෝගික සතිපට්ඨාන භාවනා ක්‍රමය එරට සාමාන්‍ය ජනතාව අතරට ද පත් වී තිබුණි. යැන්ගුන් නුවර සාසනයෙයිතා භාවනා මධ්‍යස්ථානය ගිහි පැවිදි විශාල පිරිසකට භාවනා ප්‍රගුණ කිරීම පිණිස පහසුකම් සළසා තිබුණි. පසු කලෙක කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කහටපිටියේ සිරි සුමතිපාල මහා තෙරුණුවෝද එහි දීර්ඝ කලක් භාවනා පුහුණුව ලැබූ භික්‍ෂූන් වහන්සේ නමකි.
1956 වර්ෂය ආසන්න වෙත්ම නොහොත් 2500 බුද්ධ ජයන්තිය ආසන්න වෙත්ම මෙරටවාසී ගිහි පැවිදි බෞද්ධ නායකයන් තුළ ද බුද්ධ ජයන්තිය සැමරීම් වශයෙන් අප කුමක් කරමුදැයි? විවිධ සාකච්ඡා ඇති විය. එවකට මෙරට අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පුර්ණ අනුග්‍රහාකත්වයෙන් එච්.සී. නිශ්ශංක මැතිණිය , රෙජිනා පොන්සේකා මැතිණිය , ටී.යූ. ද, සිල්වා මැතිණිය , ඒ.සී. එල්. අභය සුන්දර මැතිතුමා , බුරුම තානාපති ඌ බාල්වින් මැතිතුමා ඇතුළු ගිහි බෞද්ධ ප්‍රභූ පිරිස එක්ව කොළඹ රාජකීය විද්‍යාලයේදි අන්තර් ජාතික මට්ටමින් ප්‍රථම සාකච්ඡාව පවත්වන්නට යෙදී විවිධ කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡා විය. මෙහිදී නැගී සිටි බුරුම තානාපති ඌ බාල්වින් මැතිතුමා ප්‍රකාශ කර සිටියේ “ බුදුරජාණන් වහන්සේට කරණු ලබන ඉහළම ගෞරවය ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමයි. ප්‍රතිපත්ති පූජාව නම් ශීල සමාධි ප්‍රඥා දියුණු කිරීමයි. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කර ගත යුතුයි. මා දන්නා තරමින් දැනට ශ්‍රී ලංකාවෙහි එම භාවනා ක්‍රමය නොපවතින බව කිව හැකි වන්නේ. දැනට බුරුමයේ වනගත භික්‍ෂු පරපුරක් අතර තිබූ සතර සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය රැන්ගුන් අගනුවර දක්වා ව්‍යාප්ත වී තිබේ . මෙරට බෞද්ධයන් බුරුම රජයෙන් ඉල්ලා සිටිනේනේ නම් ඒ සඳහා සුදුසු කර්මස්ථානාචාර්යන් වහන්සේලා ලබා දීමට තමන්ට ඇප කැප විය හැකි බවයි. “ බුරුම තානාපති තුමාගේ මෙම ප්‍රකාශනයට සභාවේ සිටි සියලු දෙනාගේම අවධානය යොමු විය. එම අදහසට සභාවේ පූර්ණ අනුමැතියද ලැබුණු අතර ශ්‍රී ලංකා අගමැතිතුමාටද මේ බව දන්වා සිටියේය. අනතුරුව කලක් බුරුමයේ නැවතී සිට මෙම භාවනා ක්‍රමය ද මනාව ප්‍රගුණ කර සිටි කහටපිටියේ සුමතිපාල මහා තෙරුන් ද සම්බන්ධ කර ගනිමින් බුරුම රජය වෙත දූත පිරිසක් පිටත් කර හරින ලදී.
බුරුම රජයෙන් ලක්රජයේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිණි. මේ නිසා කොළඹ 07 දැනට විජේරාම මාවතේ ලහි ලහියේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවන්නට විය. මෙම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යාම සඳහා පළමුවෙන්ම ලංකා විපස්සනා භාවනා සමිතිය ආරම්භ විය. නොබෝ දිනකින්ම බුරුම ජාතික ඌ සෝභන (මහා ෂී සයාඩෝ) උ? සුජාත, ඌ ජවන, ඌ උත්තරාභිවංශ යන කර්මස්ථානාචාර්යන් වහන්සේලා මෙරටට වැඩම කරවන ලදී. එහෙත් උන්වහන්සේලා කොළඹ භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ සිටින්නට අකමැති වූ හෙයින් ඒ සඳහා එච්.සී. නිශ්ශංක මැතිතුමාට සහ රෙජිනා පොන්සේකා දානපතිනියට අයත් මත්තේගොඩ වත්තේ පිහිටි බංගලාවන්හි 1955 අගෝස්තු 03 වෙනි දින ප්‍රථම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි. වසරකට ආසන්න කාලයක් මෙම දානපතියන් දෙපළගේ පූර්ණ දායකත්වයෙන් භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අතර විශේෂයෙන් කොළඹ ගම්පහ ප්‍රදේශවල මෙන්ම තදාසන්න ප්‍රදේශවලින් පැමිණි ගිහි පැවිදි විශාල පිරිසක් මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ප්‍රගුණ කළහ. මේ සඳහා ලාංකීක භික්‍ෂුවක් වශයෙන් භාෂා පරිවර්තනාදී කටයුතු වලදී මෙන්ම කර්මස්ථාන දීමේ දී ද කර්මස්ථානාචාර්ය කහටපිටියේ සුමතිපාල හිමිපාණන් වහන්සේගෙන් ඉමහත් දායකත්වයක් ලැබිණි.මෙම භාවනා මධ්‍යස්ථානය දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑම දුෂ්කර වූ හෙයින් බුරුම ජාතික මහාතෙරුන් වහන්සේලා ආපසු සිය රටට වැඩම වන්නට අදහස් කළහ.
ඒ බව ප්‍රවෘත්ති පත්‍රයක් මගින් කියවන්නට ලැබුණු කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් කඳුබොඩ සිය වතුයායෙහි භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් කඳුබොඩ වත්තේ ඔවුන් සතු බංගලාව කර්මස්ථානාචාර්යන් වහන්සේලාටත් තාවකාලිකව කුටි ඉදිකර භාවනා යෝගීන්ට නවාතැන් ලබාදීමටත් ඒ සියල්ලන්ටම ප්‍රත්‍ය පහසුව ලබාදීමටත් මෙම පිරිස ඉදිරිපත් වු අතර ක්‍රමයෙන් පරිත්‍යාගශීලින්ගේ සහයෝගයද ලැබිණි. 1956 ජනවාරි 08 වෙනි දින මහාෂී සයාඩෝ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ කර්මස්ථානාචාර්ය ඌ සුජාත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රථම අධ්‍යක්‍ෂ කර්මස්ථානාචාර්ය සුමතිපාල මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ විය. අනතුරුව ඉහත කී දානපතියන් සතු වතුයායෙන් අක්කර තුනක භූමි භාගයක් වෙන් කර එහි ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයට හා භික්‍ෂූන් වහන්සේටත් භාවනා කුටි පරිත්‍යාගශීලින්ගේ ආධාරයෙන් ඉදි කෙරුණු අතර මෙම ප්‍රවෘත්තිය දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවාසීන්ට දැන ගන්නට ලැබිණි. විශාල වශයෙන් ගිහි පැවිදි පිරිස් භාවනා වැඩීමට පැමිණෙන්නට විය.
මේ අතර බුරුම ජාතික මහා තෙරුන් වහන්සේ කහටපිටියේ සුමතිපාල මහා තෙරුන්ට භාවනා මධ්‍යස්ථානයේ කටයුතු භාරදී සිය රටට ආපසු වැඩම කළහ. කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘන් වහන්සේ මෙන්ම බුරුම රට අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ශ්වේජින් මහා නිකායේ ආභාෂයෙන් මෙරට බිහිවූ ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ අධිකරණ සංඝනායක මෙන්ම අනුනායක ධූරයද හෙබ වූ කහටපිටියේ සිරි සුමතිපාල නාහිමියන්ගෙන් දසක තුනකට අධික කාලයක් මුළුල්ලෙහි විශේෂයෙන් විදර්ශනා භාවනා ක්‍ෂේත්‍රයට සිදු වූ සේවාව මිල කළ නොහේ. මෙම භාවනා මධ්‍යස්ථානය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙහිලා උන්වහන්සේගේ කැපවීම සහ කර්මස්ථාන දායකත්වය අතිශය ප්‍රශංසනීයය. උන්වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් සිය උපාධ්‍යායන් වහන්සේ සමග එදා බුරුම දේශයට ගොස් ත්‍රිපිටක ධර්මය සහ බුරුම භාෂාවද මැනවින් හදාරා නැවත සිය රටට පැමිණ 2500 බුද්ධ ජයන්තියට ආසන්න කාල පරිච්ඡේදයෙහි නැවතත් බුරුම රට ව්‍යාප්ත වෙමින් පැවතුණු සති පට්ඨාන භාවනා ක්‍රමය ඇතුළු භාවනා ක්‍රම මැනවින් හදාරා සල්ගල වැනි අරණ්‍ය සේනාසන ඇසුරු කරමින් තව දුරටත් සිය භාවනා දැනුම දියුණු කරගත් අතර බුද්ධ ජයන්ති සමයෙහි මෙරටට වැඩම වූ බුරුම ජාතික සතිපට්ඨාන භාවනා ක්‍රමය නැවත කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත කළ අතර කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා සමිතිය පිහිටුවා එහි ප්‍රථම අනුශාසකයන් වහන්සේ වශයෙන් සිය වටිනා කාලය, ශ්‍රමය කැප කරමින් එය අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්කොට වදාළහ. දෙස් විදෙස් දස දහස් සංඛ්‍යාත පිරිසකට භාවනා උපදෙස් ලබා දෙමින් ගිහි පැවිදි කා අතරත් අතිශය ගෞරවයට සම්භාවනාවට පත් වූ අතර භාවනා පුහුණුව සඳහා පැමිණි විශේෂයෙන් දැන උගත් තරුණ පිරිස් උන්වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ.
එපමණක් නොව කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය හා සමගාමීව තලගල පොල්ගස්ඕවිට වැනි භාවනා මධ්‍යස්ථාන ආරම්භ වූ අතර උන්වහන්සේගේම මූලිකත්වයෙන් අරන්කැලේ අරණ්‍ය සේනාසනය, රත්නපුර ලෙල්ලෝපිටිය රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, පොළොන්නරුව , සිංහපුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය , මාවතගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය , මාතර අපරැක්ක ශ්‍රී රෝහන විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැනි ස්ථාන ආරම්භ කරන්නට යෙදිණි. පනස් නමකට වැඩි උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින්ද උන්වහන්සේ වෙතින් භාවනා කමටහන් ලැබූ ගිහි පැවිදි පින්වතුන් වහන්සේ විසින්ද දිවයිනේ නොයෙකුත් පළාත්වල භාවනා මධ්‍යස්ථාන ඉදිකරමින් සුවිසල් සසුන් මෙහෙවරක් මේ දක්වාම සිදුකරගෙන යනු ලැබේ.
මෙම අතිශය වැදගත් භාවනා මධ්‍යස්ථානය ආරම්භ කොට ඉමහත් ලෝක ශාසනික සේවයක් සිදු කොට අපවත් වී වදාළ ප්‍රධාන කර්මස්ථානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල අනුනාහිමිපාණන් වහන්සේගේ විසිහය වෙනි ගුණ සමරු පින්කම යෙදී ඇති 2008 ජුනි 15 වෙනි දින උන්වහන්සේට උපහාර පිණිස ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය පෙරවරු 8.00 සිට ආරම්භ කෙරෙන අතර අර්ධ ශතාධික මහාසඟ රුවන විෂයෙහි මහා දක්‍ෂිණාවක් පිරිනැමීමට ද වර්තමාන මධ්‍යස්ථානාපතීන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා සියනෑ විපස්සනා භාවනා සමිතිය ඇතුළු සීල භාවනා සමිතිය ද ලහි ලහියේ සූදානම් වෙයි.

බුදුසරණ
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ ජූනි මස 10 වනදා අඟහරුවාදා


සියල්ල නැසෙන සුළු බව සත්‍යයකි. එහෙත් අද එම විනාශයේ ශීඝ්‍ර බවක් වඩ වඩාත් දැනෙ යි. දරුණු ශාරීරික රෝග මාරාවේෂයෙන් හඹා එන, ඊටත් වැඩි චණ්ඩ මාරුතයක් පරිද්දෙන්, මානසික රෝගාබාධයන් තටු සලා පියඹා එන කෙලෙස් විෂ, දසදහසක් නාග විෂටත් වඩා විෂ වූ බලය තණ්හාව විසින් සියලු සාරධර්ම යටපත් කරන සමාජ වටාපිටාවක් ද නිර්මාණය වී ඇත. මේ සියලු විලෝපනයන් මැද අප තවමත් ඉමක් කොනක් නැති ගමනක හැල්මේ දිව යමු.
මේ එකිනෙකා පරයා දුව යන්නේ මනසෙන් උස් වූ මිනිසුන් වුවත් ඔවුන් අතර නැත්තේම මනුස්සකම ය. උපේක්‍ෂා සහගත සිතක් මුහුණක් නොමැත. කරුණාවට, මෛත්‍රියට ඉඩක් හිඳසක් නොමැත. එහෙත් මේ ධර්ම දීපයම ය. තුන් තිස් පැයේ ධර්ම දේශනා ඇසෙන දේශය ය.

කහටපිටියේ ශ්‍රී සුමතිපාල මා හිමිපාණන් වහන්සේගේ පිළිරුව
මම ද උදනැක්කේම ඒ ගොඩට එකතු වී පැමිණියෙමි. තුංමං හන්දි හතරමං හන්දි පසු කරමින් පීඩනයේ තිරිංග තද කරමින් වෙහෙසින් පැමිණියෙමි. ළා හිරු රැස් දහරින් පරිසරය සෞම්‍ය කළ පෙර අතීතයේ විඳි සුවය අද වර්තමානයේ නැත. ගතට දාහය තදින් දැනෙයි. මේ විඩාව මැද මම ගමනට අවතීරණ වී හිඳිමි. යා යුතු ඉම අසමින්, විමසමින් පැමිණියෙමි. කැස්බෑවේ සිට කොට්ටාව ද, අතුරුගිරිය ද, කඩුවෙල ද පසු කරමින් පැමිණියෙමි. බියගමින් දෙල්ගොඩට විත් පූගොඩ මාර්ගයේ කි.මී. 1 1/2 ක පමණ දුරක් පැමිණ කඳුබොඩට ළඟා වුණෙමි. අසමින් සොයමින් මා පැමිණියේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය වෙත ය. මාර්ගය අසබඩ දකුණු අත පැත්තේ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබෙයි.
අද මේ ප්‍රදේශය මදක් ග්‍රාමීය කරණයෙන් මිදී තිබේ. අඩක් නාගරී කරණයට හසුව තිබෙන සෙයකි. පෙරදා හද්දා පිටිසර සොඳුරු ගම්මැදි බිමක් වූවාට සැක නැත.
මම භාවනා මධ්‍යස්ථානයට ඇතුල් වුණෙමි. පවුරෙන් එහා බිම මෙසේ පරිවර්තනයකට හසු වුව ද ඇතුළු භූමිය තුළ පරිසරය නිහඬ ය සොඳුරු ය. ගහකොළ බහුල ය. මොහොතකට පෙර මා දාහයට පත් කළ හිරු රැස් වැළකීමට මේ බිමේ පරිත්‍යාගශීලි රුක් සුමිතුරෝ සමත් වී සිටි යි. මේ පරහිතකාමී මිතුරු තුරු සෙවණ යට ගතට සුවයක් දැනෙ යි.
අප සොයා යා යුත්තේ සැබෑ සුවයකි. විඩාවෙන් මිදී සැනසීම ළඟා කර ගත යුතු වේ. එවන් සුවයක් සොයා මම පැමිණියෙමි. දෑළ සෙවණ කරනා ගහකොළ අතරින් පටු පෙත් මඟ දිගේ ගමන් කළෙමි. වේගවත් ගමනට සිත් නොදේ. සන්සුන් වන්නට හිතට ආරාධනාවකි. ඉතින් මම සෙමෙන් යමි.
අක්කර 7 ක පමණ බිමෙක යෝගාවචර භික්‍ෂූන් වහන්සේ දස සිල් මාතාවන්, ගිහි මානව මානවිකාවන්, වෙනුවෙන් කුටි 72 කින් පමණ සමන්නාගත මේ නිසල භූමියේ සසර මඟ අතරමඟ සැබෑ විවේකය ගත කරන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී තිබෙයි. ඒ විවේකයෙන් ප්‍රයෝජන ගත හොත් සැබෑ සුවය දක්වා මේ පෙත් මං දිගේ ගමන් කළ හැකි වේ යැයි සිතේ.
අයාලේ දුවන සිත නවතා ගන්නට වුවමනායය. දහසක් සිතිවිලි ගැටෙ යි. පොර බද යි. අපේක්‍ෂාවන් පසුපස හඹා යයි. නොලිහෙන දුක් කඳෙක වෙලී අවසන මරු වසඟයට යයි. නැවැතීමක් නැත. ඉමක් නැත. කොණක් නැත. ආයෙත් අයාලේ දිව යයි. දිවෙන රැවටෙන, වැටෙන, සිත සන්සුන් කර ගත යුතුයි.

බුරුම රට ‘තාතන ඉකත’ භාවනා ආශ්‍රමයේ අධිපති මාර්ගඵල ලාභී මහා පණ්ඩිත මහාෂී සයාඩෝ භදන්ත ඌ සෝභන මහා ස්වාමීන් වහන්සේ ධර්මයට අනුගත වෙමින් පැවැසූ වදනකට හිත් යොමුවේ. සමාධි නම් සිතේ තැන්පත් බවයි. දමනය නොකළ සිත ඒ ඒ අරමුණ ඔස්සේ දිව ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය රූපා දී අරමුණක් හෝ ධර්මාලම්බනයක් හෝ ඔස්සේ දුව යි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට තෝරාගත් අරමුණක් දිගටම සිත බැඳ තැබිය යුතු ය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන් පත් වෙයි. එයම දුන් අරමුණෙහි හිත රැ‍ෙඳයි. මෙය සමාධියයි.
දැන් දැන් හිත එක අරමුණක පිහිටා තිබෙයි. වියවුලෙන් තොර වෙයි. අරණ තුළ සංයමයෙන් සැරිසරන්නට සිත් දෙයි. තුරු වදුළු අතරේ සැඟව පෙනෙනා කුටි රාශියකි. රූස්ස ගස් පා මුළ තැනූ භාවනා අභ්‍යාසයට යෝග්‍යව සෑදූ ආසන සමූහයකි. සන්සුන් ගමන් යනෙන සක්මන්මළු කීපයක් ද භූමිය තුළ තිබෙ යි. තැනක දිය රැඳි පොකුණකි. අඳුරු රුක් පෙළ අතරේ සියුම් හිදැසකින් පෙරී එන සිහින් රැස් කිරණකින් ජීවය ගත් මානෙල් මලක දසුනකි. කුටියක් තුළ අස්ථි පංජරයකි. කුඩා මානෙල් මලේ විකසිත සිනහවකි. අස්ථි පංජරය, විලිස්සමින් බැල්මක් හෙළ යි.
යෝගාවචර භික්‍ෂූන් වහන්සේ රුක්‍ඛ මූල යට භාවනාවේ නිමග්නව සිටිති. සුදුවතින් සැරැසුණු තරුණයෙක් සහ වියපත් සිල් ඇත්තෝ දෙදෙනෙක් ද භාවනා අභ්‍යාසයේ යෙදී සිටිති. මේ නිසල පිවිතුරු භූමියක්ම ය. සැළෙන සිතකට නො සැළෙන හැටි කියා දෙන භූමියක් ය.
පින් බිම විසල් භූමියක් තුළ පැතිරී තිබුණ ද ඒ තුළ ඇති බුදු කුටිය විසල් නොවේ. ඒ තුළ කුඩා බුදු පිළිමයකි. පිළිම වහන්සේගේ ඉරියව් ඉතා ශාන්ත ය. සද්ධර්මාලෝක එළියෙන් සැබෑවටම සම්බුදුරජාණන් වහන්සේ දැකිය හැකි නිසා මෙවන් තැනකට දැවන්ත පිළිම වහන්සේලා අවශ්‍ය නැතැයි සිතේ.

පසෙකින් තවත් කුඩා කුටියක් තුළ භික්‍ෂූන් වහන්සේ නමකගේ පිළිරුවකි. උපැස් යුවළ යටින් දිස්වන දීප්තිමත් යුග නයන සිහින් දිගටි මුව සහිත රූප කාය නෙලා ඇත්තේ සජීවී ආකාරයට ය. ඒ තීක්‍ෂණ මුව මඬල යමක් පවසන සුළු ය. අවුල් වියැවුලින් තොර නිවුණු මුව මතින් නිවී සැනසුනු රුවක ප්‍රතිබිම්බයක් ප්‍රති නිර්මාණය වී පෙනෙන සෙයකි. ඒ කහටපිටියේ ශ්‍රී සුමතිපාල මා හිමිපාණන් වහන්සේගේ පිළිරුවයි. ඒ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය හා සබැඳුණු යෝධ රූපකායේ ප්‍රතිමූර්තිය යි.
කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ඉදි වන්නේ බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති වසර අසිරිමත් ලෙස සැමරීමට සමගාමීව ය. මෙරට ප්‍රතිපත්ති ශාසනය වඩාත් වර්ධනය කිරීම උදෙසා, බුරුම රටේ බොහෝ සේ ප්‍රචලිත සතිපට්ඨාන භාවනා ක්‍රමය මේ රට තුළ පුහුණු පුරුදු කරවීම උදාර පරමාර්ථය පෙරදැරි කර ගනිමින් එම භාවනා මධ්‍යස්ථානය කළල දියෙන් මතු වූ නෙළුමක් සේ විකසිත වූයේ 1956 ජනවාරි 08 වැනි දිනය. බුරුම ජාතික ඌ සුජාත මාහිමිපාණන් වහන්සේ සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දල්වා දොළොස් මහේ පහනක නොනිමෙන පහන් සිලක් එදා දැල්වූයේ ගෞරවනීය කහටපිටියේ සිරි සුමතිපාල මාහිමියන්ගේ පූර්ණ කැපවීමට ද ආලෝක පූජා උපහාරයක් වශයෙනි.
බුරුම දේශයේ රැන් ගුන් නගරයේ ජාත්‍යන්තර ‘ශාසන යෙයිතා’ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වඩමින් සිටි සුමතිපාල මා හිමිපාණන් වහන්සේ එම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අනාගාමී මහා භික්‍ෂූන් වහන්සේ නමක් සේ ප්‍රකට අග්ග මහා පණ්ඩිත ‘භදන්ත ඌ ශෝභන මහා සී සයාඩෝ’ මා හිමි පාණන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් මේ භාවනා මධ්‍යස්ථානය ඇරඹිණි. මෙහි මූල බීජයේ සිට උප්පත්ති කතාව පිළිබඳ වූ දීර්ඝ කි‍්‍රයාදාමය පියවරෙන් පියවර සටහන් කිරීමට පිටුවක් නො සෑහේ. ඒ නිසාම මෙය ඉතා සාරාංශ වශයෙන් සටහන් තැබුවේ හුදී ජන පහන් සංවේගය පිණිස ය. මේ අතර බුරුමයේ රහතන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ‘වේබු සයාඩෝ’ මා හිමිපාණන් වහන්සේ ද මෙම පින් බිමට වැඩම කොට ධර්ම දේශනා පවත්වා ඇත.
30 වසරකට ආසන්න කාලයක් ධර්මප්‍රදීපයෙන් භාවනාලෝකය විහිදුවාලූ සුමතිපාල නා හිමි ඒ මිනි පහන නිවී ගියේ 1982 වසරේ ජූලි 15 වැනි දින 84 වසරක් ආයු වැළඳීමෙන් අනතුරුව ය.
එතැන් පටන් ද ගමන නොනිමී පහන දැල්වී තිබෙන්නේ ආදර්ශවත් ශාසන සෝභන ශිෂ්‍යානු ශිෂ්‍ය පින්වත් දායක දායිකා පිරිස් බලයක ශක්තිය නිසා ය.
වත්මන් භාවනා මධ්‍යස්ථානාධිපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක විනයාචාර්ය ප්‍රධාන කර්මස්ථානාචාර්ය ඉඟුරුවත්තේ පියනන්ද මා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ මේ සසුන් පිළිවෙත ඉදිරියට රැගෙන යමින් අඳුරු මඟට ආලෝකයක් වෙමින් මේ බිම සංඝ සමාජයේ බබළවන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිකාරී වශයෙන් ඇප කැප වෙමින් කටයුතු කරන්නේ කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති දියසෙන්පුර විමල හිමියන් ය. මෙම භික්‍ෂූන් වහන්සේගේ සේවයද කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රගමනයට මහත් දායකත්වයක් සපයයි.
මෙම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයෙන් දෙස් විදෙස් ගිහි ජනතාවට ද තම මානසික සුවය වෙනුවෙන් ලෞකික ජීවිතයේ සැනසීම මෙන්ම ලෝකෝත්තර දිවියට එක් පියවරක් හෝ තැබීම උදෙසා වූ විපස්සනා භාවනා අභ්‍යාස පුහුණුවට දොර කවුළු විවෘතව පවතී.
දවල් දානය ද පසුවෙන යාමයේ ද මා සැරි සැරුවේ මේ පින් බිමෙහි ය. ආපසු හැරී එන්නට කාලය පැමිණ තිබේ. මා මෝටර් සයිකලයට ගොඩ වුණෙමි නිවස වෙත පැමිණීමට මඟ මතක ය එය දෙමංසල් තුංමංසල් පසු කර එන ගමනකි. ඇලීම් බැඳීම් හා එකතු වන ගමනකි.
මාර්ග දේශකත්වය ඇත්තේ සම්මා සම්බුදුවරුන්ට පමණ ය. ‘මුහුත්තං පුතෝ ගච්ඡං ද්වී පදෝ දස්සත’ ටිකක් දුර යන විට දෙමංසන්ධියක් දකී. එය වම අතට ඇති මඟකි අංග අටක් ඇති එම මිථ්‍යා මඟ නො යා යුතු ය. ‘දික්ඛිං මග්ගෝ හෝති – අරියට්ඨිංහිකං මග්ගං’ අංග අටකින් යුත් සම්‍යක් මඟ ප්‍රතිපදා මඟ දකුණට ඇති මාර්ගය යි. අපායට යන අට මඟ වම යි. සුගති නිවනට යන මඟ දකුණු මඟයි.
අගාදය වෙත ඇදෙන දිවියට සුගතිගාමී වීමේ ඉඩ හසර තවමත් විවෘතව පවතී. පහන් සිතිවිල්ලෙන් දැහැමි පිළිවෙතින් භාවනා අභ්‍යාසයෙන් සමාධී ගත වන සිතින් විදර්සනා වඩමින් ප්‍රඥාලෝකය දකිමින් සදාතනික සුව දායක නිවන් කෙම් බිමට පිවිසිය හැකි ය.
වාහල්කඩින් ඇතුල් වන විටත් පිටතට එන විටත් සිතේ ඇදුණු නාම පුවරුව හදේ කොණක තැන්පත් වී තිබෙන සෙයකි. එහි ලියැවී තිබෙන්නේ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියා ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ඔක්තෝබර් 18 වනදා සිකුරාදා