පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

කටුපොත කන්ද වජිරාරාම අරණ්‍ය සෙනසුන

අනුරපුර යුගයෙහි දෙවනපෑතිස් රජ සමයෙහි අරහත් මහා මහින්දාගමනයත් සමඟ ගෞතම බුදු සසුන සිරිලක පිහිටුවන්නට යෙදිණි. ඒ සමඟ අනුරපුර රාජධානිය හා ඉන් බැහැර පෙදෙස්හි පවා මහරහතන් වහන්සේලා උදෙසා වන සෙනසුන්, ආරාම ආදිය රාජානුග්‍රහයෙන් බුදු සසුනට පිදිණි. ඒ අනුවම මිහින්තලයේ ගල්කුලු අතුරෙහි අට සැට ලෙන් තනවන්නට යෙදිණි. මිස්සක පව්වට නුදුරෙහි ඇති මහා පර්වතයෙහිත් මහ රහතන් වහන්සේලා උදෙසා කටාරම් කොටා සෙල්ලිපි ලියවා ගල්ලෙන් පිදුනු අතර, මිහිඳු ගිරට පසුපසින් පිහිටි හෙයින්ම එකල මෙම පර්වතය “පාචීන පබ්බතය” යන නමින් හඳුන්වන්නට යෙදිණ. අද දවසෙහිත් ඉපැරැණි ගල් ලෙන් හතළිහකට (40) අධික සංඛාවක් මෙම පාචීන පර්වතයෙහි දැකිය හැකිය. වනය පුරා දිවෙන ඉපැරැණි පෙත්මන්, විසල් පැන් පොකුණු, ගරාවැටුණු දාගැබ සහ වෙනත් නටබුන් වලින් ශෝභමාන මෙම කඳුවැටිය නූතනයෙහි “කටුපොත කන්ද” යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත.
පෙර මහරහතුන් වැඩි මඟ යමින් නොයෙක් ගුරු කුලයන් ඇසුරු කළ භික්‍ෂු සංඝයා වහන්සේලා කලින් කල මෙම පූජනීය වනපෙතෙහි වැඩ වාසය කළ අතර මෙම ප්‍රදේශයේ නොයෙකුත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන්ම 1997 පමණ වන විට මෙම පුදබිම භික්‍ෂු සංඝයාගෙන් හිස්ව පැවතිණ.
1999 දී මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන් අනුරපුරය ආශි‍්‍රතව විවේක සෙනසුනක් සොයමින් වඩින මොහොතක දී අහඹු ලෙස මෙම වනපෙතට වැඩමවන්නට යෙදිණ. කටු පඳුරු වන ලැහැබ අතුරෙහි මහරහතුන් වැඩි මංපෙත් ඔස්සේ වැඩම වූ නාහිමි තමන් වහන්සේ සොයා ආ භූමිය මෙයම බව පසක් කරගත්හ. ඒ සමඟම නැවත වරක් මෙම කඳුවැටිය සහිත වනපෙත රමණීය වන සෙනසුනක අසිරියෙන් ශෝභමාන විය. උතුම් නිවන් මඟ නොහැර වඩින බුදු පුතුන් උදෙසා “කටුපොත කන්ද වජිරාරාම අරණ්‍ය සෙනසුන” නමින් ඇරඹි මෙම වන සෙනසුනෙහි පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ මූලිකත්වයෙන් උපෝසථ සීමා සම්මත කොට සෙනසුන චිරස්ථායි කරන්නට යෙදිණි..
වර්තමානය වන විට අරණ්‍ය සේනාසනයකට ඇවැසි දාන ශාලා, ගල් ලෙන, භාවනා කුටි, සක්මන්මළු, මනරම් බෝධීන් වහන්සේ නමක් ඇතුළු සේනාසනාංගයන්ගෙන් මෙම අරණ්‍ය සේනාසනය සමන්විතය. අරණ්‍ය සේනාසනාධිකාරි කටුගස්තොට සනාථ විහාරි හිමිපාණන් වහන්සේගේ අනුශාසනය හා මඟපෙන්වීම ඇසුරෙහි සෙනසුන් වාසී භික්‍ෂු සංඝයාටත් සසුන්කෙතට පිවිසීමට බලාපොරොත්තු වන සැදැහැවත් කුලපුත්‍රයනටත් හිමිවන හා හිමිවීමට නියමිත ශාසනික දායාද අපමණය.
තෙමඬුළු වසා හැඳ පෙරව පාත්‍ර ගත් අත් ඇතිව අරුණෝදයත් සමඟ ගමට පි¾ඩු පිණිස වැඩම වන ස්වාමීන් වහන්සේලාගේ නිරන්තර දසුනෙන් දවස අරඹන අවට ගම්වැසි සැදැහැවත් ජනී ජනයාගේ සිත් තුළ පෙර දවස වැඩ විසූ මහරහතන් වහන්සේලා පිළිබඳව ඇතිකරවනු ලබන සැදැහැති පැහැදීම මෙතෙකැයි කිව නොහැක. උපතින් (99) අනූනම වන වියට එළඹ ඇති අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ ගිලන් බැව් හේතුවෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි වැඩ විසුවද, ඒ උතුමන් වහන්සේගේ සිල් ගුණ සුවඳ දැනුදු වජිරාරාම වන සෙනසුනට ජීවය සදාලන සේක.
යටිහලගල පුරාණ රජමහා විහාරස්ථානයේ සිට අසිරිමත් කේශධාතුන් වහන්සේලා වැඩමවන රිය පෙරහර 16 වන දා දහවල් 12.00 ට පමණ පිටත්වන අතර, සවස 3.30 පමණ වන විට ගල්කුලම නගරයට ධාතුන්වහන්සේලා වැඩම වා පූජෝපහාර පවත්වනු ලැබේ. එතැන් සිට අනුරපුර ප්‍රධාන මාර්ගයේ ගමන් කොට මාතලේ හන්දියටත්, සවස 5.00 පමණ වන විට මිහින්තලේ නගර මධ්‍යයටත් රිය පෙරහර ළඟා වේ.නගරයෙහි පාසල් දරුවන් ඇතුළු සැදැහැවතුන්ගේ පුද සත්කාර ලබමින් පලුගස්වැව ග්‍රාමයටත් එහි සිට කටුපොත කන්ද වජිරාරාම සෙනසුන කරා ධාතු පෙරහර ළඟාවන්නට නියමිතය. 16 වන දා සවස 5.45 ට ධාතු පූජාව හා කේශධාතු වන්දනාව ආරම්භ වේ. අසිරිමත් ධාතු වර්ණනාව, බම්බලපිටිය සිරි වජිරාරාම විහාරවාසී මීගොඩ සුඛිත හිමියන් විසින් ද, ධාතු වන්දනාව, මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී කඩවත සමින්ද හිමියන් විසින්ද සිදු කෙරේ.

වාර්ෂික කඨින මහා පූජෝත්සවය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, කටුපොත කන්ද පාචීන පබ්බත වජිරාරාම අරණ්‍ය සේනාසනාධිපති අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ හා බම්බලපිටිය සිරි වජිරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අනුනායක ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, 17 වන දා කටුපොත කන්ද වජිරාරාම අරණ්‍ය සේනාසනාධිකාරි කටුගස්තොට සනාථ විහාරී හිමියන්ගේ මෙහෙයවීමෙන් වාර්ෂික කඨින මහා පූජෝත්සවය සිදුකෙරේ.