පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය


මේ අග නගරයේ සුහද ආමන්ත්‍රණයක් සිනහවක් නොමැති මුවින් නයි කූඹි රැලක් මෙන් තරගයට දිවයන නොසන්සුන් මිනිසුන් මැදට මමද අවතීර්ණ වී හිඳිමි. කොළොම්තොටට උඩින් පායන හිරු මල ගිනියම් වී ඇත. කොළම්තොටට දවස උදාවන්නේත්, කොළොම්තොටින් හිරු මල බැසයන්නේත් මෙවන් කලබැගෑනියක් මැද හිත කනස්සල්ලට පත්කර ලමිනි. ආතතියෙන් තෙරපමිනි.


අරියවංශාලංකාර හිමිගෙන් ගුරු උපදෙස් ....
එහෙත් මා හට දුවන්නන් වාලේ දිව යාමට සිත් නොදෙන්නේ ආතතියෙන් මිදි දැවෙන සිත නිවාලන කෙම්බිමක් වෙත යන වන්දනා ගමනකට මා අවතීර්ණ වී ඇති නිසා ය. උස් ගොඩනැගිලි මහ මන්දිර මැදින් දිවෙන විජේරාම මාවත දිගේ ඇවිද යන මට මේ කටුක නගර මධ්‍යයේ වන අරණක සිරිගත් බිම් කඩක් පෙනෙයි. එය ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය නම් වෙයි. මොහොතකට පෙර දැවුනු සිත මේ සෙනසුන් බිමේදී සැහැල්ලුවට පත්වී ඇත. දම් සුවඳ හා මුසුවී තුරුලතාවන් සපිරි පින් බිමෙන් ඇදී එන සිහිල් සුළන් පොද හිතටද ප්‍රදානය කරන්නේ සිසිලසකි.
ජපනුන් ලංකාවට බෝම්බ හෙලීමට පෙර සමයේ වෝඩ්, බාන්ස්, ග්‍රෙගරි වැනි ප්‍රදේශ මනුෂ්‍ය වාසයෙන් තෙර ලඳු කැලෑවකි. එදවස මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ “කූඹි කැලේ ‘’ නමිනි. බ්‍රිතාන්‍යයන් විසින් මෙහි කුරුඳු වගා කළ නිසා අදද මේ ප්‍රදේශය හඳුන්වන්නේ ‘කුරුඳු වත්ත ‘ යන නමිනි.
කොළඹ කුරුඳුවත්ත කියූ පමණින් සිතේ ඇඳෙන චිත්‍රයේ ඇත්තේ ධන කුවේරයන්ගේ මහ මන්දිර ය. කුරුඳුවත්තේ කුරුඳුකොළයක් වත් අද දකින්නට නොමැත.
1948 වසරේ ලක්බිමට නිදහස ලැබේ. පසුව කුරුඳු පඳුරු ගැලැවී ඒ බිම් මත ප්‍රභූ පන්තියේ ප්‍රාසාද ඉදි වෙයි. පවුරු වැටකඩොලු බැඳි කුරුඳුවත්තේ නිදහස සාමාන්‍ය ජනතාවගෙන් ගිලිහී යයි. ඒ කාලයට සාපේක්‍ෂව කුඩා ඉඩෙක පවා වටිනාකම ඉතා ඉහළ අගයකට පත්වේ.
නමුත් 1956 වසරේදී මේ වටිනාකම් ඉහළ ගිය බිමෙන් අක්කරයක පමණ භූමියක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත ප්‍රදානය කෙරේ. මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිසා ය. මූලාරම්භයේදී මෙහි ශාසනික භාවනා කටයතු වෙනුවෙන් කැපවන්නේ බුරුම දේශයෙන් වැඩමවන ලද කම්මට්ඨානාචාර්ය ඌ සුජාතා, ඌ ජවන හා ඌ උත්තරාභිවංස ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා ගේ මාර්ගෝපදේශකත්වයෙනි.
මිරිස්සේ ගුණසිරි ස්වාමීන් වහන්සේ මෙන්ම බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා භාවනායෝගීන්ට කර්මස්ථාන දෙමින් ක්‍රමයෙන් මෙම කෙම්බිම අග නගරයේ, ලක්බිමේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලන ප්‍රදීපයක් ලෙස වර්ධනය වේ.
1989 - 2001 දක්වා මෙහි මධ්‍යස්ථානාධිපති හා කම්මට්ඨානාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ ගම්පහ පේ‍්‍රමසිරි හිමියන්ගේ යුගයේදී භාවනා කුටි ප්‍රමාණය තවත් වර්ධනය වෙයි. සෙනසුන් බිමක සිරියෙන් තව තවත් ඔපවත් වෙයි. අධ්‍යාත්මික හා භෞතික වර්ධනයේ උච්ච තලයට පැමිණෙයි.

භාවනා අභ්‍යාසයේ යෙදෙන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ
2001 වසරේ සිට විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වශයෙන් පිදුම් ලබන හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය මේ දිදුලන පින් බිමට මහත් ආලෝකයක් වී තිබේ.
විශේෂ වශයෙන් මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති ගරුක සැබෑ බෞද්ධ සමාජයක් ගොඩනැගීමේ උත්තරීතර අරමුණ වෙනුවෙන් සැදී පැහැදී කටයුතු කිරීම සුවිශේෂී වෙයි. එවන් එක් අවස්ථාවක් දැක බලා ගැනීමේ වාසනාව අපට උදාවිය.
මේ සෙනසුන් බිමට අවතීර්ණ වීමේදී දිස්වෙන සරල පරිසරයක වූ බෝධීන් වහන්සේ, සක්මන් මළුව , කුඩා චෛත්‍ය සරල බුදු මැදුර සංකීර්ණ ආටෝපයන්ගෙන් තොරව සිත් සතන් සැහැල්ලුවට පත්කරවයි. මේ තුළ ඇති නිහැඬියාව, හඬනගමින් වැලපෙන ජීවිතයේ අරුත ගවේෂණය කරන්නට අවැසි පසුබිම සකසා දෙයි. මෙම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුඛ්‍ය අරමුණ කුමක්දැයි දැන හැඳින ගැනීමට හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන් හා යෙදුන ධර්ම සාකච්ඡාවේ දී උන් වහන්සේ පළ කළ අදහස් මගින් අපගේ ජීවිත ගැන නැවත සිතන්නට ඔබට ද ආරාධනා කරමි. “සිරුර පවිත්‍ර කර ගැනීමට දිය නෑමත්, ඇඳුම් පවිත්‍ර කර ගැනීමට සේදීමත් අත්‍යවශ්‍ය වේ. එහෙත් ඉක්මනින් කිලිටි වන සිත අපි පිරිසිදු කර ගන්නෙමු ද? සිත කිලිටි වන විට අවුල්වන විට කරනා කාර්යයන්ද අවුල් වේ. අධ්‍යාපනය මෙන්ම සතුටෙන් ජීවිතය ගෙවන්නටත් එය බාධාවකි. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? සිත සෝදා පිරිසිදු කර ගත යුතුයි . එයට අවශ්‍ය මනෝවිද්‍යා උපක්‍රමය නම් භාවනාව වේ. සිත පිරිසිදු වන විට ලේ ධාතුව ද පවිත්‍රවේ. මුහුණ සිරුර ප්‍රසන්න වේ. 80 % ක් පමණ රෝග වලට මුල් වන්නේ මනසයි. මනසේ ආතතිය දුරු කළ දාට නීරෝගි සුවයද ලැබිය හැකියි. එසේ නම් අප මුලින්ම කළ යුත්තේ සිත කිලිටි වන පව් වැඩ වලින් ඉවත්වීම යි. සිත පවිත්‍ර කරන යහපත් දේ කිරීමය. මෙය කුල මල ආගම් බේදයෙන් තොර සමස්ත ලෝකයටම පොදු ධර්මතාවයකි. සිතට විවේකයක් වශයෙන් දිනකට විනාඩි 15 ක් වත් භාවනා කිරීම වැදගත්”. මේ මහා දුක් සයුරෙන් මිදී සංසාර විමුක්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසාද ප්‍රභල වන්නේද මේ භාවනාවම ය. ජීවිතය හා ලෝකය පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදි වශයෙනි. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීමට උපයෝගි වන්නේ විපස්සනා භාවනාව යි. යහපත් දිවි මගකට මෙන්ම භවමගේ වියැවුලෙන් මිදීම උදෙසාද පිහිටට සිටින මේ උත්තරීතර වූ භාවනා අභ්‍යාසයන්හි යෙදීමට අප සැමට ස්වර්ණමය ද්වාරයත් විවර වී තිබේ. කුටි විශාල සංඛ්‍යාවකින් සමන්විත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ එම කුටි වෙන්ව ඇත්තේ අප සඳහාමය . ගිහි පැවිදි පුරුෂ කාන්තා මෙන්ම අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ටද මෙය විවෘතව පවතී.
ඔබ භාවනා අභ්‍යාසයේ යෙදෙන්නට කැමැතිනම්, වියවුලෙන් ආතුර වූ සිතට සද්ධර්මයේ මහා බල මහිමයේ ඔසු පැන් අවශ්‍ය නම් කොළඹ 7 විජේරාම මාවත,නො.180 දරන ස්ථානයේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඇති කුටි ඔබ සඳහාම විවෘත ය . කෑම බීම ඉඳුම් හිටුම් පවා සැපයෙන්නේ නොමිලයේ ය. දින කාල වෙන් කර ගැනීමට ඉහත ලිපිනයෙන් ඇමැතිය යුතුවෙයි.

සත්වයාගේ පිරිසුදු භාවය සඳහාද ශෝකය හා වැලපීම ඉක්මවීම සඳහාද එකම මගක් තිබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කිරීම සඳහාද නිවන අවබෝධ කිරීම සඳහාද භාවනා මාර්ගයම උපකාරී වේ. 
- සම්බුදුරජාණන් වහන්සේ